දුරේක්ෂය

ප්‍රතිචාර 3

අපේ ලමයි බලන් ඉද්දීම, ලොකු වෙන නිසා සමහර වෙලාවට අපිට අමතක වෙනවා මේකා දැන් යමක් කමක් දන්නවා කියලා. ලොක්කාගේ වයස අවුරුදු 05ක් වුනත් තාම මට ඒක ඒ විදියට නොදැනෙන වෙලාවල් තියෙනවා. ජානකී සූරිය ආරච්චි ගේ පොත්වලට අපේ හාදයාත් බොහොම මනාපයි. ඉතින් සමහර පොත් අරන් දෙනවා. ඒ අතරේ සමහර ඒවා වෙබ් එකෙන් බාගත කරගෙන කොම්පීතරෙන් පෙන්නනවා. අදත් ඔන්න මේ විදියට එකක් මම කියලා දෙනවා. කථාව තමයි පිටසක්වල කුමාරයා.

උපුටා ගැනීම ඉහත සබැඳියෙනි.

“බිනර මේ තරම් අහසට ආස නිසා එයාගේ ලොකු මාමා එයාට උපන් දිනයට දුරේක්ෂයක් ගෙනත් දුන්නා”.

“ඒ මොකක්ද තාත්තේ දුරේක්ෂය කියන්නේ?” මේකා අහපි.

“ඒ කියන්නේ ඈත තියෙන දේවල් ලොකු කරලා බලන්න පුලුවන්…” අරහෙම මෙහෙම විස්තර කියලා අන්තිමට කිව්වා.  “මේ පින්තූරේ තියෙන විදිහේ එකකට” කියලා.

ඔක්කොම අහගෙන ඉඳලා ඒ පාර මේකා අහපි  “ඒ කියන්නේ ටෙලෙස්කෝප් එකක් වගේ එකක්ද?” කියලා.

මෝල හිට්ටාද? බග් ෆික්සිං

ප්‍රතිචාර 2

බ්ලොග් අවකාශයේ ඉන්න හැම දෙනෙක්ම වගේ බග් ෆික්සිං කියන දේ දන්නවානේ ඉතිං. බග් එකකට බග් කියන නම හම්බවුන හේතුව දන්නවාද? හරි දන්න අය ඊලඟ ඡේදයට යන්නකෝ. කොම්පීතර මුලින්ම හදපු කාලේ දැන් වගේ ලැප් ටොප්, පාම් ටොප් නැහැනේ. කොම්පීතරයක් කියන්නේ කාමරේකින් එකක් තරම් ලොකුයි. ඇතුලේ තියෙන්නේ දැතිරෝද වගේ යාන්ත්‍රික කොටස්.  ඉතින් දවසක් මේ වගේ ලොකු මෝලක් (ඒවාගේ හැටියට ඒ නමත් හොඳ වැඩියි ) වැඩ කරන්නේ නැතුව ගියා. කට්ටිය හොයලා බැලුවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.  ලෙඩේ හම්බ වුනා. බග් එකක්. ඒ කිව්වේ ඇත්තටම කුරුමිණියෙක් වගේ එකෙක් ගිහින් කෑල්ලක හිරවෙලා. ඉතින් මෝල හිටලා. ඔන්න එදා ඉඳන් මෝල හිට්ටහම (මම කියන්නේ කොම්පීතර ගැන, ඔය හිතන දේ ගැන නෙමෙයි ) කියන්නේ බග් එකක් කියලා. ඕක ඉවත් කිරීම තමයි බග් ෆික්සිං කියන්නේ.

ඔය පොටෝ එකේ ඉන්න කෙනා තමයි මේ නම ලෝකෙට බිහි කලේ.

හරි, පූර්විකාව ඉවරයි. මේක මම වැඩ කරන තැන කාලයකට කලින් වුන දෙයක්. එක දවසක් අපේ ටෙස්ටිං කරන කෙනෙක් ට රිපෝර්ට් එකක බග් එකක් හම්බ වුනා. වැරැද්ද තමා අනවශ්‍ය තැනක තිතක් තිබීම. ඉතිං මේක බග් එකක් විදියට රිපෝර්ට් කලා. දැන් මේක හදන්න ගත්ත කෙනාට (SE, Software Engineer)මේක රීක්‍රියේට් වෙන්නේ නෑ. ඒ කියන්නේ එයාට මෙහෙම වැරැද්දක් පෙන්නන්නේ නෑ. ආයේ මොකක්ද ඉතින් “කැනොට් රී ක්‍රියේට්” කියලා බග් එක වැහුවා. මෙන්න බොලේ ටික වෙලාවකින් ආයෙත් බග් එක ඇරලා. අර දාපු කෙනා. මේක හරියන්නේ නැහැනේ. SE ගියා මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැබෑව නේන්නම්. මේ තියෙන්නේ තිත එයාගේ රිපෝර්ට් එකේ. තව ටිකක් ලං වෙලා බලලා කිව්වා “හරි මචන් මම හොයාගත්තා බග් එක මම හදලා දෙන්නම්” කියලා. පස්සේ SE පොඩි කොල කෑල්ලක් අරගෙන මොනිටරේ තිබ්බ පොඩි කුණු “තිත” අරන් දැම්මා.

ඔන්න ඔහොමත් සමහර බග් ෆික්ස් කරන්න පුළුවන්.

5 හේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණයක්- උත්තරය කීයද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මේක මගේ යාළුවෙක් කියපු ඇත්තටම වුන කථාවක්. කථාවේ කතා නායකයෝ දෙන්නයි. නිවුන්නු. දෙන්න ම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙට ලිව්වයි කියමුකෝ. විභාගේ ඉවර වෙලා ගෙදර ඇවිත් දැන් ලියපුවා ගැන කතා වෙනවා.

“අර ලීටර් 10 භාජනයක් පුරවන්න ලීටර් 2 එකකින් කී පාරක් දාන්න ඕනිද කියලා අහලා තිබුන එකට ඔයා මොකක්ද ලිව්වේ? “.

 ”අය්යෝ, එච්චර ඕනි නැති විස්තර නැතුව දහය බෙදීම දෙක කීයද කියලා කෙලින්ම ඇහුවානම් ඉවරයිනේ. මම ලිව්වා පහයි කියලා”

“නෑ…. එහෙම බෑ… දැන් පොඩි භාජනෙන් පුරවනකොට වතුර පොඩ්ඩ පොඩ්ඩ හැලෙන්න පුළුවන් නේ ඉතින් පහක් මදි. ඒක හින්දා මම නම් ලිව්වේ හයයි කියලා. “

කවුද මෙතන හරි… කවුද මෙතන වැරදි? 

ප්‍රශ්ණ පත්තර හදන අයට ලමයි හිතන හැටි ගැනත් හිතන්න වෙනවා….

නෑ බෑ නොකියා පොඩ්ඩක් කියවමුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මම පොඩි කාලේ සෑහෙන්නම පොත් කියවපු කෙනෙක්. ඒකට අපේ ගෙදර පරිසරයත් සෑහෙන්න බලපෑවා. ඒ කියන්නේ අපේ ගෙදර හුඟක් පොත් තිබුනා. අපිට ඕනි පොතක් කියවන්න ගෙදරින් නිදහස දීලත් තිබුනා. හරි කැටයම මෙතනින් ඉවරයි. දැන් මාතෘකාවට.

කොහොම හරි දැන් අවුරුදු ගණනක ඉඳලාම කියවීම කියන එක අමතක වෙලාම ගියා. උදේට රස්සාවට, හවස ගෙදර  ආවම පොඩි අය එක්ක ජීවිතයක් නේ. ඉතින් කොහෙද කියවන්න වෙලාවක්. එහෙම තමයි මටත් කලින් හිතුනේ.

ඒකත් අහඹු සිදුවීමක්. මම දවසක් වාහනේ හෝදන්න පොඩි ජොයින්ට් එකකට ගියා. දැන් ඉතින් වැඩේ ඉවර වෙනකන් එතන බලන් ඉන්නත් කම්මැලියි. වට පිට බලනකොට පොඩි පොට් එකක් දැක්කා. ඔලුව දාලා බලනකොට පොඩි ගමේ පුස්තකාලයක්. ගිහින් පත්තරේ බලන ගමන් හිටපු අන්කල් මාමා එක්ක පොඩි කතාවක් දැම්මා. අන්තිමට එතනින් ආවේ සාමාජික ගාස්තුත් ගෙවලා (රු. 250/=යි )පොත් දෙකකුත් උස්සගෙන. මට එකයි, ලොකු කොලූට එකයි. ඊට පස්සේ ඉතින් ඒක ආයෙත් පුරුද්දක් කර ගන්න පුලුවන් උනා. 

අපරාදේ කියන්න බෑ දැන් මට පොත් කියවන්න වෙලාව තියෙනවා. ඇත්තම කිව්වොත් පොත් තියෙනකොට පොත් කියවන්න වෙලාව හදාගන්න පුලුවන්. මෙහෙමයි, පොඩ්ඩෝ නිදාගන්නකම් මම බලනවා. දැන් මම ජාලේට එන්නේත් පැයක් දෙකක් පොතක් බලලා.

දැන් හිතෙනවා අර පොත් බලපු නැති කාලේ අපරාදේ නිකම්ම ගෙවුනා නේද කියලා. අනිත් එක තමයි පොත් සල්ලි දීලා ගන්නවාට වඩා පුස්තකාලේකින් ගන්න එක ලේසියි හා ලාබයි. අපි සමහර වෙලාවට සල්ලි දීල කවදාවත් ගනී කියලා හිතන්න බැරි හොඳ පොත් හම්බවෙනවා.

ඒ වගේ පොතක් අද කියවලා ඉවර කරා. Freedom at Midnight පොතේ සිංහල පරිවර්තනය “මැදියම් රැයේ විමුක්තිය”. සුපිරි පොතක්. ඒක ලියවෙලා තියෙන්නේ ඉන්දීය නිදහස් සටන ගැන, විශේෂයෙන් ම මහත්මා ගාන්ධි කියන අති විශිෂ්ඨ මානව හිතවාදියා වටා. පුළුවන්නම් හොයාගෙන කියවන්න.

Mahathma Gandhi

“බ්‍රිතාන්‍ය ජාතියම පුදුමයට පත්කරමින් බ්‍රිතාන්‍ය අධිරාජයා පිරි නැමූ තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳීම සඳහා සිය අමුඩයෙන් හා සෙරෙප්පු යුගලයකින් සැරසුනු ගාන්ධි බකිංහැම් මාලිගයට ගියේය. රජු හමුවට යද්දී ඔහු හැඳ සිටි ඇඳුම ප්‍රමාණවත් දැයි පසු අවස්ථාවක නිළධාරීන් ඔහුගෙන් විමසූ විට ගාන්ධි සිනා මුසු මුහුණින් කීවේ <රජතුමා අපි දෙන්නාටම සෑහෙන්න ඇඳගෙන   හිටියා> කියා ය. “

ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ දැනට කියවීම අත්හැර නම් ඉන්නේ, ආයෙත් පටන් ගන්න. ප්‍රථිපල හොඳ බවට අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ඉවසීමෙන් සැනසීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

අප රත්නපුරයේ සිට කොළඹ පදිංචියට පැමිණුනේ මීට වසර 3-4 කට පෙරය. එම කාලයේ මා හට කොලොම්පුරය එපා වීමට බලපෑ මූලිකම කාරණය වූයේ මෙහි රිය පැදවීමය. නිදහසේ හිතේ හැටියට එලවීම වෙනුවට එහෙන් මෙහෙන් රිංගවීමට එන බයික් වලින් , ත්‍රී වීල් වලින් බේරී, ඇඟට කපන බස් වලින් බේරී ගමනක් යෑම තරම් එපා කරවූ දෙයක් නොමැති තරම්ය. කල් ගතවත්ම මේ රටාවට මමද පුරුදු වීමි. “රෝමෙට ගියා නම් රෝමන්කා රයෙක් වගේ ඉඳපං” මම මටම කියගතිමි. ඇඟට කපන ත්‍රී වීල් වලට,බස් වලටත් ඉඩක් නොදීම සිටිමට ඉගෙන ගතිමි. මා හට පරණ ජීප් කට්ටක් නොමැති වීම ගැන කණගාටුවෙන් සිටිමි. එසේ නම් යකෙකුටවත් බය නැතුව සිටීමට හැක.

මේ අතරවාරයේ මා හට සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් උදෙසා ස්වීඩනයට යාමට සිදුවිය. එහි රියදුරන්ගේ විනීතකම්නම් අප හට අපගැනම දෙවරක් නොව කීපවරක්ම සිතා බැලීමට ඉඩ කඩ සලසාලීය. මා එහි සිටි සති 04 ක කාලයට මා හට  නලාවක හඬ ඇසුනේ එක් වරකි. එයද, සන්ධියක කොල එලිය දැල්වෙනු නොදුටු රියදුරෙකු වෙනුවෙනි. පාර මාරුවීම සඳහා අප  පාර අද්දරට ආ කල වාහන නවත්වාගෙන අප මාරු වනතුරු බලා සිටී. මහළු අයෙක් බසයට නැගි විට වාඩි වෙන තුරුම බසය ගමන් නොඅරඹයි. දිනක් මා සහ තවත් මිතුරෙකු ඔවුන් දෙදෙනෙකු සමග කාරයෙන් ගමන් කරමින් සිටියෙමු. රිය පැදවූයේ ඔවුන්ගෙන් කෙනෙකි. බොහෝවිට එය ගමන් කලේ පැ.කි.මී. 100 ට වැඩියෙනි. විටෙක එය පැ.කි.මී. 140ක් විය. එසේ ගියද, වරක් එහි වේගය පැ.කි.මී. 20-30 තරම් අඩු විය. බැලූ කල අශ්වයන් අරන් යන රථයක් ඈඳාගත් කාරයක් ඉදිරියෙන් විය. අපේ රථය පැදවූකෙනා තුල නොරිස්සීමක් දක්නට නැත. මම නම්… ඒ වෙලාවේ හෝන් එක උඩ වාඩිවෙමි. ටික දුරක් අපට ඉදිරියෙන් ආ එම කාරය වෙනත් මගක් ගත් කල එයට බයි බයි කියා නැවත පෙර පරිදි එලවීමය ඔහු කලේ.

මෙහෙම දේවල් දැකපු මමත් හිතා ගත්තා අපේ රටට ආවම මාත් බොහොම පිළිවෙලට යනවා , හෝන් ගහන්නේ නෑ කියලා, ඇත්තටම මට හරි ආසාවක් තිබුනා එහෙම රිලැක්ස් එකේ එලවන්න. මොන?….එක දවසක් ට්‍රයි කලා.. බෑ කියලා සත්‍යය අවබෝධ කරගත්තා.

මේ ලඟදී දවසක හැබැයි මම පාරක් අයිනේ ඉන්නකොට දැකපු සිද්ධියක් මට ආයෙමත් වෙන විදියකට හිතන්න ඉඩ හදලා දුන්නා.

බස් එකක් හෙමීට හෙමීට ගාට ගාට නැවතුම ගාවට ආවා. ඒක පිටිපස්සෙන් වෑන් එකකුත් එනවා. බස් එක ඇවිල්ලා නැවතුමේ නවත්වලා තව චුට්ටක් ඉස්සරහටත් අරන් තියන් ඉන්නවා. වෑන් එකේ හිටපු අවු, 40 ක විතර පිරිමි රියදුරත් ඔහේ තියන් ඉන්නවා. පස්සේ විනාඩි 2 කට විතර පස්සේ බස් එක ගියහම එතනින් වමට තිබුන පාරට අර වෑන් එක හරවන් යන්න ගියා. ඒ මනුස්සයා මුල ඉඳන්ම හෝන් ගගහා හිටියනම්, ඒත් බස් එක යන්නේ එයාගේ වෙලාවට. අර මනුස්සයගේ ලේ ටික පිච්චෙනවා විතරයි. සමහර වෙලාවට ගෙර ගිහිල්ලත් ගෝරි. මේ විදිහට හිතේ සැනසිල්ලෙන් ගියා.

දවසක් ආපු E-Mail එකක තිබනා වගේ , වෙන්න තියන දේ වලක්වන්න අපිට බැරි වෙන්න පුලුවන්, ඒත් ඒකට අපි දක්වන ප්‍රතිචාරය අනුව තමයි ගොඩක් අනවශ්‍ය ඵල විපාක වෙන්නේ.

දේශපාලන නිරුවත ලෝකයටම පෙන්වීම

ප්‍රතිචාර 4

දේශපාලනය නිසා මිනිස්සු කොච්චර පහත් තත්වයට වැටෙනවද කියන එකට හොඳ උදාහරණයක්. තමන් නියෝජනය කරන්නේ රටක් කියලා නොතේරෙන්න විදියක් නෑනේ.

http://www.youtube.com/watch?v=1swkuXRVGfQ

නොකී කථාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

අපිට හොරෙන් පොකට් එකට විදීම

එක් ප්‍රතිචාරයක්

මේ කියන්න යන්නේ ඔබ නොදැනුවත්වම ඔබේ පොකැට්ටුවට විදින විදියක් ගැන. මේකට ප්‍රවිශ්ඨයක් ( බර වැඩි නෑනේ වචනේ :) ) විදියට මම බිස්කට් පැකට් එකක් ගන්නම්. හිතලා බලන්න ඉස්සර කොහොමද ඒවා විකුණන්න තිබුනේ කියලා. ලොකු පෙට්ටියක් නම් කිලෝ 2යි. ඊට අඩු නම් ග්‍රෑම් 500 යි. එහෙමත් නැත්නම් ග්‍රෑම් 200යි.

දැන් අපි බලමු මේක කොහොමද වෙනස් උනේ කියලා. මුලින්ම පුළුවන්නම් බිස්කට් එකේ සයිස් එක පුංචි කරනවා. ඔය තියෙන්නේ ටිකිරි මොලේ. ඊට පස්සේ පැක් සයිස් පුංචි කරනවා. එහෙම නැතුව කොහොමද? මුලින්ම අඩු කලේ ග්‍රෑම් 100 කට. අද ගියහම ගන්න තියෙන්නේ කිලෝ 2 වෙනුවට 1 . 5 යි. 500 වෙනුවට 400යි. 200 වෙනුවට 100 ඉඳලා පහලට. ග්‍රෑම් 90, 80,50,40,30 විදියට.

පොඩි එකා මට කියනවා ගෙදර එනකොට ස්ටාර් බිස්කට් ගේන්නලු. අනේ ඉතින් මමත් බැලුවා. ග්‍රෑම් 40යි, ගාණ…. රුපියල්වලින්ම 55යි. කාලා වරෙන්කෝ.

ඊලඟට මේ වගේ ගසාකන තවත් එකක් තමයි සැමන් ටින් එක. ඉස්සර හැම ටින් එකකම මුළු බර (කෑලි + දියර ) ග්‍රෑම් 425යි. ඒකෙන් කෑලි බර ග්‍රෑම් 325යි. දියර බර ග්‍රෑම් 100යි.  ඊට පස්සේ කාලයක් ආවා සමහර වර්ගයේ ඒවාවල කෑලිවල බර ග්‍රෑම් 325 ට වඩා අඩුවෙන්. ගාණත් ටිකක් අඩුයි. හැබැයි මුළු බර ග්‍රෑම් 425යි. මම ඊයේ බලනකොට කෑලි බර තිබුනේ ග්‍රෑම් 280 හෝ ඊට අඩුවෙන්. සමහර නම හදාගත්ත ඒවා තිබුනා ඒවායේ බර අඩු උනාට මිල නම් පොඩ්ඩක්වත් අඩු නෑ.  මේ ලඟදී යාළුවෙකුත් මට කිව්වා “මට අලුතින් සැමන් එකක් හම්බ උනා ඒක රු. 150ක්  විතරයි උනේ කියලා. එයා දැනගෙන හිටියේ නෑ ඒකේ කෑලි තිබුනේ ග්‍රෑම් 250 යි කියලා.

එක පාරක් ගෑස් සිලින්ඩරයේ තියෙන ගෑස් ප්‍රමාණයත් කි.13.5 ඉඳලා කි. 12.5 ට අඩු කලේ අපේ ආරක්ෂාවටලුනේ.

මේ ලඟක් ඉඳලා දෙල්කඳ පොලේ තක්කාලි වල ගණන් ගහලා තියෙන්නේ ග්‍රෑම් 200කට, ඉස්සර තිබුනේ ග්‍රෑ.250කට.

මේ ගොඩට අලුතින්ම එකතුවුන ඉන්ටනෙට් දෙන එක්කෙනෙකුත් ඉන්නවා. එයා ගණන් කියන්නේ කිලෝ බයිට් 1000 කට. බැලූ බැල්මට මෙගා බයිට් එකක් වගේ තමයි. හැබැයි මෙගා බයිට් 1ට වඩා කිලෝ බයිට් 24ක් අඩුයි.

මේවාට අපේ ආණ්ඩුත් අඳ, ගොලු, බිහිරි වගේ ඉන්නකල් මිනිස්සු රැවටෙන එක නවත්වන්න අමාරුයි.

සිරා ගේ කථා- හැඳින්වීම හා කථා අංක 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

දුගියාටත් ඔන්න හිතුනා යාළුවෙක් ව විකුණන්න. ඉතින් මුලින්ම හිතට ආවේ හොඳම යාළුවෙක්. අපි සිරා කියලා කියමුකෝ. ( හැබැයි ඉතින් උගේ ඇත්තම නම තමයි මේ කථා වලට හොඳටම ගැලපෙන්නේ. ඒත් එහෙම අමුවෙන්ම දෙන එක උගේ සෞඛ්‍යයට වඩා  මගේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්නේ.)

හැඳින්වීම: සිරා කියන්නේ මාරෙට හිත හොඳ අමුතුම එකෙක්. ඌ ඌට හරියන තියරි හදාගෙන ඒ මත ජීවත් වෙන එකෙක්.(කථාවලින් බලත හැකි ) ඕ.එල්. කාලේ ඉඳලාම අලියාගේ පැත්තෙන් දේශපාලන වැඩවලට සහභාගි උන, කැපුවත් කොල එකෙක්. සිරා හිටියේ අපේ ඉස්කෝලේ නෙමෙයි. ඒත් අපි එකට පන්ති ගියා. කොහෙම හරි ඒ.එල්. දෙවෙනි පාරට අපි සෙට් එකක්ම කැම්පස් එකටත් ආවා. කතා ඔක්කොම වගේ ඒ කාලේ ඒවා තමයි.

මේක උනේ අපේ ෆයිනල් එක්සෑම් එක කාලේදී. ඔන්න දැන් ඉතින් කට්ටිය ලවක් දෙවක් නැතුව පාඩම් කරන කාලේ. ඒ වගේම මාරෙට ස්ට්‍රෙස් නේ. ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඉතින් පොඩි ආතල් වැඩක් හැමදාම කරනවා.
 කට්ටිය එක එක තැන්වල පාඩම් කරන්න පුරුදු වෙලා හිටියත් රෑ වෙනකොට හොස්ටල් එකට එනවා. අපේ තිබුනේ කාමරයක් දෙන්නේකුට. ඒ වගේ කාමර 16ක් විතර අපේ බ්ලොක් එකට තිබුනා. අපේ සෙට් එක ඔක්කොම හිටියෙත් මේකේ. මුළු බ්ලොක් එකෙන්ම නැගලාම යන චරිතේ තමයි සිරා.

ඔන්න මමයි රූමයි දැන් පාඩම් කර කර ඉන්නකොට අපේ උන් ටිකක් ආවා වල දාන්න. ඇවිත් එකෙක් මගේ බෝතලෙන් වතුර බිව්වා. (සාමාන්‍යයෙන් පාඩම් කරන කොට අපි වතුර බෝතලේ ලඟ තියන් ඉන්නවනේ.) ටික වෙලාවකින් තව එකෙක්  බිව්වා. දැන් ඔන්න එකා එක බොනවා. මං කේන්තියෙන් වගේ කිව්වා යකෝ ගිහින් තොපේ ඒවගෙන් බීපියකෝ, දැන් මං ආයෙත් මේක පුරවන්න එපෑ කියලා. දැන් කට්ටියට මාර ආතල්.

ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙත් සිරා ආවා. ඇවිත් මගේ වතුර එකෙන් ආයෙත් බිව්වා. දැන් මේ එන්නේ මට මල පන්නවන්න. ටික වෙලාවකින් තව එකෙක් ආවා. ඇවිත් ඌ මට මෙහෙම කියනවා. “මචං අපිත් මාරුවෙන් මාරුවට එනවා. ඇවිත් අපි ගිහින් කියනවා සිරාට අපිනම් අරූගේ බෝතලෙන් වතුර බිව්වා. උඹත් පලයන්”  කියලා.

දැන් වැඩේ වෙන්නේ එහෙමයි. හැමෝම මාරුවෙන් මාරුවට කාමරේට ඇවිත් මගේ වතුර බෝතලෙන් ටිකක් අහකට හලලා යනවා. සිරා විතරක් ඇවිල්ලා බීලා යනවා. බෝතලේ ඉවරවුනහම මම හැමෝටම ඇහෙන්න බොරුවට ඔක්කොටම බැන බැන වතුර එකක් ගේන්න යනවා.

කට්ටිය නිදාගන්නකම් ම මේකත් උනා. පහුවදා උදේම අපේ එකෙක් සිරාගෙන් නිකමට වගේ අහනවලු, “ඊයේ කොහොමද මචං නින්ද ගියාද?” කියලා. මූ ගත් කටටම කියනවලු. “මොන නින්දක් ද බං එලිවෙනකම්ම සැරින් සැරේ හුජ්ජ කරන්න යන්න උනා, ඇයි උඹලට එහෙම නැද්ද? කියලා.

හැබැයි ඉතින් කතාව ඌ දැනගත්තම ඌට වැඩියෙන්ම මල මාත් එක්ක. (සුපුරුදු පරිදි )

මිටි තැනින් බහින වතුර නොහොත් අළුත් කරන විදුලි බිල

ප්‍රතිචාර 3

අද අහන්න හම්බවුන පුවතකට අනුව ඉස්සරහට එනවලු විදුලියත් පෙර ගෙවුම් ක්‍රමයකට අරගන්න. ඒ කියන්නේ ඉස්සරහට වෙන්නේ මෙහෙමයි. අපිට විදුලිය ලැබෙන්නේ අපි කලින් ගෙවලා අරගත්ත යුනිට් ගණනක් විතරයි. හරියට පෙර ගෙවුම් දුරකථන සම්බන්ධතාවයක් ගත්තා වගේ. ඒ ගාණ ඉවරවුනහම ඉබේම විදුලිය විසන්දි වෙනවා.ඊට කලින් අපි දැනගන්න ඕනි ආයෙත් රී-චාර්ජ් කරගන්න. බැලූ බැල්මට ම ඒකත් නරක නෑ වගේ. ඇයි ඉතින් අපිට හම්බ වෙන්නේ දියුණු තාක්ෂණික ක්‍රමයක් නේ.

දැන් ඇයි මෙහෙම ක්‍රමයක් ඕනි වෙන්නේ? මිනිස්සුන්ට විදුලි බිල ඇඟට හොඳට දැනෙනවා. ඉතින් ගෙවන්න අමාරුයි. සමහර වෙලාවට මාස ගණන් පරක්කු වෙනවා. (ඇයි ඉතින් පොල් ගෙඩියකුයි පාන් ගෙඩියකුයි අරන් ඉවර උණහම බිල ගෙවන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑනේ.) මෙහෙම කරහම මණ්ඩලේටත් හරිම ලේසියි.ගෙවපු ගාණ ඉවර උනහම ඉබේම විසන්දි වෙනවා. මණ්ඩලේට කරදරයකුත් නෑ. බැනුම් අහන්න වෙන්නෙත් නෑ.

අපේ විදුලි බිල දරාගන්න තරම් අමාරු තරම් කියලා හැමෝම දන්නවා. අපේ ඒක්කයක නිෂ්පාදන වියදම හුඟක් වැඩියි. ඇයි එහෙම උනේ?

කාලේකට ඉස්සර , 90 ගණන් වල, ලොකු නියගයක් ආවා. නියඟය නිසා ජලයෙන් විදුලිය නිශ්පාදනය කරන එක සීමා කරන්න උනා. එතකොට වෙනත් විකල්ප ගැන බලන්න උනා. පුද්ගලික අංශයෙන් සල්ලි වලට විදුලිය මිළදී ගත්තා. නිකම් නෙමේ සමහර ගිවිසුම් ගැහුවේ 2025 වෙනකම්, ඒකත් ඒකකයකට ගෙවනවා විකුණන මිලට වඩා වැඩියෙන්. ඒ අපිට තියෙන ආදරේට.

ඒත් එක්ක ම වැඩිවෙන ඉල්ලුම ට සරිලන විදියට නිෂ්පාදනය වැඩි කරන්න සැලැස්මක් ඒ කාලේ හැදුවේ නෑ. සමහර වෙලාවට පුද්ගලික අංශයේ විදුලිය ගැනීම සඳහා ජලාශ වල වතුර හේතුවක් නැතුවමමඩ සොරොව්වලින් යවපු කතා ත් අහන්න ලැබුනා.

ඒ වාගේ වැඩ නිසා කාලයක් තිස්සේ පාඩු ලබපු මණ්ඩලේ දැන් ඒ ඔක්කොම පියවාගන්න හදන්නේ අපේ සාක්කුවට විදලා. අපි තමයි පලි.

Older Entries

Follow

Get every new post delivered to your Inbox.