අප රත්නපුරයේ සිට කොළඹ පදිංචියට පැමිණුනේ මීට වසර 3-4 කට පෙරය. එම කාලයේ මා හට කොලොම්පුරය එපා වීමට බලපෑ මූලිකම කාරණය වූයේ මෙහි රිය පැදවීමය. නිදහසේ හිතේ හැටියට එලවීම වෙනුවට එහෙන් මෙහෙන් රිංගවීමට එන බයික් වලින් , ත්‍රී වීල් වලින් බේරී, ඇඟට කපන බස් වලින් බේරී ගමනක් යෑම තරම් එපා කරවූ දෙයක් නොමැති තරම්ය. කල් ගතවත්ම මේ රටාවට මමද පුරුදු වීමි. “රෝමෙට ගියා නම් රෝමන්කා රයෙක් වගේ ඉඳපං” මම මටම කියගතිමි. ඇඟට කපන ත්‍රී වීල් වලට,බස් වලටත් ඉඩක් නොදීම සිටිමට ඉගෙන ගතිමි. මා හට පරණ ජීප් කට්ටක් නොමැති වීම ගැන කණගාටුවෙන් සිටිමි. එසේ නම් යකෙකුටවත් බය නැතුව සිටීමට හැක.

මේ අතරවාරයේ මා හට සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් උදෙසා ස්වීඩනයට යාමට සිදුවිය. එහි රියදුරන්ගේ විනීතකම්නම් අප හට අපගැනම දෙවරක් නොව කීපවරක්ම සිතා බැලීමට ඉඩ කඩ සලසාලීය. මා එහි සිටි සති 04 ක කාලයට මා හට  නලාවක හඬ ඇසුනේ එක් වරකි. එයද, සන්ධියක කොල එලිය දැල්වෙනු නොදුටු රියදුරෙකු වෙනුවෙනි. පාර මාරුවීම සඳහා අප  පාර අද්දරට ආ කල වාහන නවත්වාගෙන අප මාරු වනතුරු බලා සිටී. මහළු අයෙක් බසයට නැගි විට වාඩි වෙන තුරුම බසය ගමන් නොඅරඹයි. දිනක් මා සහ තවත් මිතුරෙකු ඔවුන් දෙදෙනෙකු සමග කාරයෙන් ගමන් කරමින් සිටියෙමු. රිය පැදවූයේ ඔවුන්ගෙන් කෙනෙකි. බොහෝවිට එය ගමන් කලේ පැ.කි.මී. 100 ට වැඩියෙනි. විටෙක එය පැ.කි.මී. 140ක් විය. එසේ ගියද, වරක් එහි වේගය පැ.කි.මී. 20-30 තරම් අඩු විය. බැලූ කල අශ්වයන් අරන් යන රථයක් ඈඳාගත් කාරයක් ඉදිරියෙන් විය. අපේ රථය පැදවූකෙනා තුල නොරිස්සීමක් දක්නට නැත. මම නම්… ඒ වෙලාවේ හෝන් එක උඩ වාඩිවෙමි. ටික දුරක් අපට ඉදිරියෙන් ආ එම කාරය වෙනත් මගක් ගත් කල එයට බයි බයි කියා නැවත පෙර පරිදි එලවීමය ඔහු කලේ.

මෙහෙම දේවල් දැකපු මමත් හිතා ගත්තා අපේ රටට ආවම මාත් බොහොම පිළිවෙලට යනවා , හෝන් ගහන්නේ නෑ කියලා, ඇත්තටම මට හරි ආසාවක් තිබුනා එහෙම රිලැක්ස් එකේ එලවන්න. මොන?….එක දවසක් ට්‍රයි කලා.. බෑ කියලා සත්‍යය අවබෝධ කරගත්තා.

මේ ලඟදී දවසක හැබැයි මම පාරක් අයිනේ ඉන්නකොට දැකපු සිද්ධියක් මට ආයෙමත් වෙන විදියකට හිතන්න ඉඩ හදලා දුන්නා.

බස් එකක් හෙමීට හෙමීට ගාට ගාට නැවතුම ගාවට ආවා. ඒක පිටිපස්සෙන් වෑන් එකකුත් එනවා. බස් එක ඇවිල්ලා නැවතුමේ නවත්වලා තව චුට්ටක් ඉස්සරහටත් අරන් තියන් ඉන්නවා. වෑන් එකේ හිටපු අවු, 40 ක විතර පිරිමි රියදුරත් ඔහේ තියන් ඉන්නවා. පස්සේ විනාඩි 2 කට විතර පස්සේ බස් එක ගියහම එතනින් වමට තිබුන පාරට අර වෑන් එක හරවන් යන්න ගියා. ඒ මනුස්සයා මුල ඉඳන්ම හෝන් ගගහා හිටියනම්, ඒත් බස් එක යන්නේ එයාගේ වෙලාවට. අර මනුස්සයගේ ලේ ටික පිච්චෙනවා විතරයි. සමහර වෙලාවට ගෙර ගිහිල්ලත් ගෝරි. මේ විදිහට හිතේ සැනසිල්ලෙන් ගියා.

දවසක් ආපු E-Mail එකක තිබනා වගේ , වෙන්න තියන දේ වලක්වන්න අපිට බැරි වෙන්න පුලුවන්, ඒත් ඒකට අපි දක්වන ප්‍රතිචාරය අනුව තමයි ගොඩක් අනවශ්‍ය ඵල විපාක වෙන්නේ.

Advertisements