දුරේක්ෂය

ප්‍රතිචාර 3

අපේ ලමයි බලන් ඉද්දීම, ලොකු වෙන නිසා සමහර වෙලාවට අපිට අමතක වෙනවා මේකා දැන් යමක් කමක් දන්නවා කියලා. ලොක්කාගේ වයස අවුරුදු 05ක් වුනත් තාම මට ඒක ඒ විදියට නොදැනෙන වෙලාවල් තියෙනවා. ජානකී සූරිය ආරච්චි ගේ පොත්වලට අපේ හාදයාත් බොහොම මනාපයි. ඉතින් සමහර පොත් අරන් දෙනවා. ඒ අතරේ සමහර ඒවා වෙබ් එකෙන් බාගත කරගෙන කොම්පීතරෙන් පෙන්නනවා. අදත් ඔන්න මේ විදියට එකක් මම කියලා දෙනවා. කථාව තමයි පිටසක්වල කුමාරයා.

උපුටා ගැනීම ඉහත සබැඳියෙනි.

“බිනර මේ තරම් අහසට ආස නිසා එයාගේ ලොකු මාමා එයාට උපන් දිනයට දුරේක්ෂයක් ගෙනත් දුන්නා”.

“ඒ මොකක්ද තාත්තේ දුරේක්ෂය කියන්නේ?” මේකා අහපි.

“ඒ කියන්නේ ඈත තියෙන දේවල් ලොකු කරලා බලන්න පුලුවන්…” අරහෙම මෙහෙම විස්තර කියලා අන්තිමට කිව්වා.  “මේ පින්තූරේ තියෙන විදිහේ එකකට” කියලා.

ඔක්කොම අහගෙන ඉඳලා ඒ පාර මේකා අහපි  “ඒ කියන්නේ ටෙලෙස්කෝප් එකක් වගේ එකක්ද?” කියලා.

මෝල හිට්ටාද? බග් ෆික්සිං

ප්‍රතිචාර 2

බ්ලොග් අවකාශයේ ඉන්න හැම දෙනෙක්ම වගේ බග් ෆික්සිං කියන දේ දන්නවානේ ඉතිං. බග් එකකට බග් කියන නම හම්බවුන හේතුව දන්නවාද? හරි දන්න අය ඊලඟ ඡේදයට යන්නකෝ. කොම්පීතර මුලින්ම හදපු කාලේ දැන් වගේ ලැප් ටොප්, පාම් ටොප් නැහැනේ. කොම්පීතරයක් කියන්නේ කාමරේකින් එකක් තරම් ලොකුයි. ඇතුලේ තියෙන්නේ දැතිරෝද වගේ යාන්ත්‍රික කොටස්.  ඉතින් දවසක් මේ වගේ ලොකු මෝලක් (ඒවාගේ හැටියට ඒ නමත් හොඳ වැඩියි ) වැඩ කරන්නේ නැතුව ගියා. කට්ටිය හොයලා බැලුවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.  ලෙඩේ හම්බ වුනා. බග් එකක්. ඒ කිව්වේ ඇත්තටම කුරුමිණියෙක් වගේ එකෙක් ගිහින් කෑල්ලක හිරවෙලා. ඉතින් මෝල හිටලා. ඔන්න එදා ඉඳන් මෝල හිට්ටහම (මම කියන්නේ කොම්පීතර ගැන, ඔය හිතන දේ ගැන නෙමෙයි ) කියන්නේ බග් එකක් කියලා. ඕක ඉවත් කිරීම තමයි බග් ෆික්සිං කියන්නේ.

ඔය පොටෝ එකේ ඉන්න කෙනා තමයි මේ නම ලෝකෙට බිහි කලේ.

හරි, පූර්විකාව ඉවරයි. මේක මම වැඩ කරන තැන කාලයකට කලින් වුන දෙයක්. එක දවසක් අපේ ටෙස්ටිං කරන කෙනෙක් ට රිපෝර්ට් එකක බග් එකක් හම්බ වුනා. වැරැද්ද තමා අනවශ්‍ය තැනක තිතක් තිබීම. ඉතිං මේක බග් එකක් විදියට රිපෝර්ට් කලා. දැන් මේක හදන්න ගත්ත කෙනාට (SE, Software Engineer)මේක රීක්‍රියේට් වෙන්නේ නෑ. ඒ කියන්නේ එයාට මෙහෙම වැරැද්දක් පෙන්නන්නේ නෑ. ආයේ මොකක්ද ඉතින් “කැනොට් රී ක්‍රියේට්” කියලා බග් එක වැහුවා. මෙන්න බොලේ ටික වෙලාවකින් ආයෙත් බග් එක ඇරලා. අර දාපු කෙනා. මේක හරියන්නේ නැහැනේ. SE ගියා මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැබෑව නේන්නම්. මේ තියෙන්නේ තිත එයාගේ රිපෝර්ට් එකේ. තව ටිකක් ලං වෙලා බලලා කිව්වා “හරි මචන් මම හොයාගත්තා බග් එක මම හදලා දෙන්නම්” කියලා. පස්සේ SE පොඩි කොල කෑල්ලක් අරගෙන මොනිටරේ තිබ්බ පොඩි කුණු “තිත” අරන් දැම්මා.

ඔන්න ඔහොමත් සමහර බග් ෆික්ස් කරන්න පුළුවන්.

5 හේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණයක්- උත්තරය කීයද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මේක මගේ යාළුවෙක් කියපු ඇත්තටම වුන කථාවක්. කථාවේ කතා නායකයෝ දෙන්නයි. නිවුන්නු. දෙන්න ම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙට ලිව්වයි කියමුකෝ. විභාගේ ඉවර වෙලා ගෙදර ඇවිත් දැන් ලියපුවා ගැන කතා වෙනවා.

“අර ලීටර් 10 භාජනයක් පුරවන්න ලීටර් 2 එකකින් කී පාරක් දාන්න ඕනිද කියලා අහලා තිබුන එකට ඔයා මොකක්ද ලිව්වේ? “.

 “අය්යෝ, එච්චර ඕනි නැති විස්තර නැතුව දහය බෙදීම දෙක කීයද කියලා කෙලින්ම ඇහුවානම් ඉවරයිනේ. මම ලිව්වා පහයි කියලා”

“නෑ…. එහෙම බෑ… දැන් පොඩි භාජනෙන් පුරවනකොට වතුර පොඩ්ඩ පොඩ්ඩ හැලෙන්න පුළුවන් නේ ඉතින් පහක් මදි. ඒක හින්දා මම නම් ලිව්වේ හයයි කියලා. ”

කවුද මෙතන හරි… කවුද මෙතන වැරදි? 

ප්‍රශ්ණ පත්තර හදන අයට ලමයි හිතන හැටි ගැනත් හිතන්න වෙනවා….

නෑ බෑ නොකියා පොඩ්ඩක් කියවමුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මම පොඩි කාලේ සෑහෙන්නම පොත් කියවපු කෙනෙක්. ඒකට අපේ ගෙදර පරිසරයත් සෑහෙන්න බලපෑවා. ඒ කියන්නේ අපේ ගෙදර හුඟක් පොත් තිබුනා. අපිට ඕනි පොතක් කියවන්න ගෙදරින් නිදහස දීලත් තිබුනා. හරි කැටයම මෙතනින් ඉවරයි. දැන් මාතෘකාවට.

කොහොම හරි දැන් අවුරුදු ගණනක ඉඳලාම කියවීම කියන එක අමතක වෙලාම ගියා. උදේට රස්සාවට, හවස ගෙදර  ආවම පොඩි අය එක්ක ජීවිතයක් නේ. ඉතින් කොහෙද කියවන්න වෙලාවක්. එහෙම තමයි මටත් කලින් හිතුනේ.

ඒකත් අහඹු සිදුවීමක්. මම දවසක් වාහනේ හෝදන්න පොඩි ජොයින්ට් එකකට ගියා. දැන් ඉතින් වැඩේ ඉවර වෙනකන් එතන බලන් ඉන්නත් කම්මැලියි. වට පිට බලනකොට පොඩි පොට් එකක් දැක්කා. ඔලුව දාලා බලනකොට පොඩි ගමේ පුස්තකාලයක්. ගිහින් පත්තරේ බලන ගමන් හිටපු අන්කල් මාමා එක්ක පොඩි කතාවක් දැම්මා. අන්තිමට එතනින් ආවේ සාමාජික ගාස්තුත් ගෙවලා (රු. 250/=යි )පොත් දෙකකුත් උස්සගෙන. මට එකයි, ලොකු කොලූට එකයි. ඊට පස්සේ ඉතින් ඒක ආයෙත් පුරුද්දක් කර ගන්න පුලුවන් උනා. 

අපරාදේ කියන්න බෑ දැන් මට පොත් කියවන්න වෙලාව තියෙනවා. ඇත්තම කිව්වොත් පොත් තියෙනකොට පොත් කියවන්න වෙලාව හදාගන්න පුලුවන්. මෙහෙමයි, පොඩ්ඩෝ නිදාගන්නකම් මම බලනවා. දැන් මම ජාලේට එන්නේත් පැයක් දෙකක් පොතක් බලලා.

දැන් හිතෙනවා අර පොත් බලපු නැති කාලේ අපරාදේ නිකම්ම ගෙවුනා නේද කියලා. අනිත් එක තමයි පොත් සල්ලි දීලා ගන්නවාට වඩා පුස්තකාලේකින් ගන්න එක ලේසියි හා ලාබයි. අපි සමහර වෙලාවට සල්ලි දීල කවදාවත් ගනී කියලා හිතන්න බැරි හොඳ පොත් හම්බවෙනවා.

ඒ වගේ පොතක් අද කියවලා ඉවර කරා. Freedom at Midnight පොතේ සිංහල පරිවර්තනය “මැදියම් රැයේ විමුක්තිය”. සුපිරි පොතක්. ඒක ලියවෙලා තියෙන්නේ ඉන්දීය නිදහස් සටන ගැන, විශේෂයෙන් ම මහත්මා ගාන්ධි කියන අති විශිෂ්ඨ මානව හිතවාදියා වටා. පුළුවන්නම් හොයාගෙන කියවන්න.

Mahathma Gandhi

“බ්‍රිතාන්‍ය ජාතියම පුදුමයට පත්කරමින් බ්‍රිතාන්‍ය අධිරාජයා පිරි නැමූ තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳීම සඳහා සිය අමුඩයෙන් හා සෙරෙප්පු යුගලයකින් සැරසුනු ගාන්ධි බකිංහැම් මාලිගයට ගියේය. රජු හමුවට යද්දී ඔහු හැඳ සිටි ඇඳුම ප්‍රමාණවත් දැයි පසු අවස්ථාවක නිළධාරීන් ඔහුගෙන් විමසූ විට ගාන්ධි සිනා මුසු මුහුණින් කීවේ <රජතුමා අපි දෙන්නාටම සෑහෙන්න ඇඳගෙන   හිටියා> කියා ය. ”

ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ දැනට කියවීම අත්හැර නම් ඉන්නේ, ආයෙත් පටන් ගන්න. ප්‍රථිපල හොඳ බවට අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ඉවසීමෙන් සැනසීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

අප රත්නපුරයේ සිට කොළඹ පදිංචියට පැමිණුනේ මීට වසර 3-4 කට පෙරය. එම කාලයේ මා හට කොලොම්පුරය එපා වීමට බලපෑ මූලිකම කාරණය වූයේ මෙහි රිය පැදවීමය. නිදහසේ හිතේ හැටියට එලවීම වෙනුවට එහෙන් මෙහෙන් රිංගවීමට එන බයික් වලින් , ත්‍රී වීල් වලින් බේරී, ඇඟට කපන බස් වලින් බේරී ගමනක් යෑම තරම් එපා කරවූ දෙයක් නොමැති තරම්ය. කල් ගතවත්ම මේ රටාවට මමද පුරුදු වීමි. “රෝමෙට ගියා නම් රෝමන්කා රයෙක් වගේ ඉඳපං” මම මටම කියගතිමි. ඇඟට කපන ත්‍රී වීල් වලට,බස් වලටත් ඉඩක් නොදීම සිටිමට ඉගෙන ගතිමි. මා හට පරණ ජීප් කට්ටක් නොමැති වීම ගැන කණගාටුවෙන් සිටිමි. එසේ නම් යකෙකුටවත් බය නැතුව සිටීමට හැක.

මේ අතරවාරයේ මා හට සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් උදෙසා ස්වීඩනයට යාමට සිදුවිය. එහි රියදුරන්ගේ විනීතකම්නම් අප හට අපගැනම දෙවරක් නොව කීපවරක්ම සිතා බැලීමට ඉඩ කඩ සලසාලීය. මා එහි සිටි සති 04 ක කාලයට මා හට  නලාවක හඬ ඇසුනේ එක් වරකි. එයද, සන්ධියක කොල එලිය දැල්වෙනු නොදුටු රියදුරෙකු වෙනුවෙනි. පාර මාරුවීම සඳහා අප  පාර අද්දරට ආ කල වාහන නවත්වාගෙන අප මාරු වනතුරු බලා සිටී. මහළු අයෙක් බසයට නැගි විට වාඩි වෙන තුරුම බසය ගමන් නොඅරඹයි. දිනක් මා සහ තවත් මිතුරෙකු ඔවුන් දෙදෙනෙකු සමග කාරයෙන් ගමන් කරමින් සිටියෙමු. රිය පැදවූයේ ඔවුන්ගෙන් කෙනෙකි. බොහෝවිට එය ගමන් කලේ පැ.කි.මී. 100 ට වැඩියෙනි. විටෙක එය පැ.කි.මී. 140ක් විය. එසේ ගියද, වරක් එහි වේගය පැ.කි.මී. 20-30 තරම් අඩු විය. බැලූ කල අශ්වයන් අරන් යන රථයක් ඈඳාගත් කාරයක් ඉදිරියෙන් විය. අපේ රථය පැදවූකෙනා තුල නොරිස්සීමක් දක්නට නැත. මම නම්… ඒ වෙලාවේ හෝන් එක උඩ වාඩිවෙමි. ටික දුරක් අපට ඉදිරියෙන් ආ එම කාරය වෙනත් මගක් ගත් කල එයට බයි බයි කියා නැවත පෙර පරිදි එලවීමය ඔහු කලේ.

මෙහෙම දේවල් දැකපු මමත් හිතා ගත්තා අපේ රටට ආවම මාත් බොහොම පිළිවෙලට යනවා , හෝන් ගහන්නේ නෑ කියලා, ඇත්තටම මට හරි ආසාවක් තිබුනා එහෙම රිලැක්ස් එකේ එලවන්න. මොන?….එක දවසක් ට්‍රයි කලා.. බෑ කියලා සත්‍යය අවබෝධ කරගත්තා.

මේ ලඟදී දවසක හැබැයි මම පාරක් අයිනේ ඉන්නකොට දැකපු සිද්ධියක් මට ආයෙමත් වෙන විදියකට හිතන්න ඉඩ හදලා දුන්නා.

බස් එකක් හෙමීට හෙමීට ගාට ගාට නැවතුම ගාවට ආවා. ඒක පිටිපස්සෙන් වෑන් එකකුත් එනවා. බස් එක ඇවිල්ලා නැවතුමේ නවත්වලා තව චුට්ටක් ඉස්සරහටත් අරන් තියන් ඉන්නවා. වෑන් එකේ හිටපු අවු, 40 ක විතර පිරිමි රියදුරත් ඔහේ තියන් ඉන්නවා. පස්සේ විනාඩි 2 කට විතර පස්සේ බස් එක ගියහම එතනින් වමට තිබුන පාරට අර වෑන් එක හරවන් යන්න ගියා. ඒ මනුස්සයා මුල ඉඳන්ම හෝන් ගගහා හිටියනම්, ඒත් බස් එක යන්නේ එයාගේ වෙලාවට. අර මනුස්සයගේ ලේ ටික පිච්චෙනවා විතරයි. සමහර වෙලාවට ගෙර ගිහිල්ලත් ගෝරි. මේ විදිහට හිතේ සැනසිල්ලෙන් ගියා.

දවසක් ආපු E-Mail එකක තිබනා වගේ , වෙන්න තියන දේ වලක්වන්න අපිට බැරි වෙන්න පුලුවන්, ඒත් ඒකට අපි දක්වන ප්‍රතිචාරය අනුව තමයි ගොඩක් අනවශ්‍ය ඵල විපාක වෙන්නේ.

දේශපාලන නිරුවත ලෝකයටම පෙන්වීම

ප්‍රතිචාර 4

දේශපාලනය නිසා මිනිස්සු කොච්චර පහත් තත්වයට වැටෙනවද කියන එකට හොඳ උදාහරණයක්. තමන් නියෝජනය කරන්නේ රටක් කියලා නොතේරෙන්න විදියක් නෑනේ.

http://www.youtube.com/watch?v=1swkuXRVGfQ

නොකී කථාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Older Entries