අපිට හොරෙන් පොකට් එකට විදීම

එක් ප්‍රතිචාරයක්

මේ කියන්න යන්නේ ඔබ නොදැනුවත්වම ඔබේ පොකැට්ටුවට විදින විදියක් ගැන. මේකට ප්‍රවිශ්ඨයක් ( බර වැඩි නෑනේ වචනේ 🙂 ) විදියට මම බිස්කට් පැකට් එකක් ගන්නම්. හිතලා බලන්න ඉස්සර කොහොමද ඒවා විකුණන්න තිබුනේ කියලා. ලොකු පෙට්ටියක් නම් කිලෝ 2යි. ඊට අඩු නම් ග්‍රෑම් 500 යි. එහෙමත් නැත්නම් ග්‍රෑම් 200යි.

දැන් අපි බලමු මේක කොහොමද වෙනස් උනේ කියලා. මුලින්ම පුළුවන්නම් බිස්කට් එකේ සයිස් එක පුංචි කරනවා. ඔය තියෙන්නේ ටිකිරි මොලේ. ඊට පස්සේ පැක් සයිස් පුංචි කරනවා. එහෙම නැතුව කොහොමද? මුලින්ම අඩු කලේ ග්‍රෑම් 100 කට. අද ගියහම ගන්න තියෙන්නේ කිලෝ 2 වෙනුවට 1 . 5 යි. 500 වෙනුවට 400යි. 200 වෙනුවට 100 ඉඳලා පහලට. ග්‍රෑම් 90, 80,50,40,30 විදියට.

පොඩි එකා මට කියනවා ගෙදර එනකොට ස්ටාර් බිස්කට් ගේන්නලු. අනේ ඉතින් මමත් බැලුවා. ග්‍රෑම් 40යි, ගාණ…. රුපියල්වලින්ම 55යි. කාලා වරෙන්කෝ.

ඊලඟට මේ වගේ ගසාකන තවත් එකක් තමයි සැමන් ටින් එක. ඉස්සර හැම ටින් එකකම මුළු බර (කෑලි + දියර ) ග්‍රෑම් 425යි. ඒකෙන් කෑලි බර ග්‍රෑම් 325යි. දියර බර ග්‍රෑම් 100යි.  ඊට පස්සේ කාලයක් ආවා සමහර වර්ගයේ ඒවාවල කෑලිවල බර ග්‍රෑම් 325 ට වඩා අඩුවෙන්. ගාණත් ටිකක් අඩුයි. හැබැයි මුළු බර ග්‍රෑම් 425යි. මම ඊයේ බලනකොට කෑලි බර තිබුනේ ග්‍රෑම් 280 හෝ ඊට අඩුවෙන්. සමහර නම හදාගත්ත ඒවා තිබුනා ඒවායේ බර අඩු උනාට මිල නම් පොඩ්ඩක්වත් අඩු නෑ.  මේ ලඟදී යාළුවෙකුත් මට කිව්වා “මට අලුතින් සැමන් එකක් හම්බ උනා ඒක රු. 150ක්  විතරයි උනේ කියලා. එයා දැනගෙන හිටියේ නෑ ඒකේ කෑලි තිබුනේ ග්‍රෑම් 250 යි කියලා.

එක පාරක් ගෑස් සිලින්ඩරයේ තියෙන ගෑස් ප්‍රමාණයත් කි.13.5 ඉඳලා කි. 12.5 ට අඩු කලේ අපේ ආරක්ෂාවටලුනේ.

මේ ලඟක් ඉඳලා දෙල්කඳ පොලේ තක්කාලි වල ගණන් ගහලා තියෙන්නේ ග්‍රෑම් 200කට, ඉස්සර තිබුනේ ග්‍රෑ.250කට.

මේ ගොඩට අලුතින්ම එකතුවුන ඉන්ටනෙට් දෙන එක්කෙනෙකුත් ඉන්නවා. එයා ගණන් කියන්නේ කිලෝ බයිට් 1000 කට. බැලූ බැල්මට මෙගා බයිට් එකක් වගේ තමයි. හැබැයි මෙගා බයිට් 1ට වඩා කිලෝ බයිට් 24ක් අඩුයි.

මේවාට අපේ ආණ්ඩුත් අඳ, ගොලු, බිහිරි වගේ ඉන්නකල් මිනිස්සු රැවටෙන එක නවත්වන්න අමාරුයි.

Advertisements

සිරා ගේ කථා- හැඳින්වීම හා කථා අංක 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

දුගියාටත් ඔන්න හිතුනා යාළුවෙක් ව විකුණන්න. ඉතින් මුලින්ම හිතට ආවේ හොඳම යාළුවෙක්. අපි සිරා කියලා කියමුකෝ. ( හැබැයි ඉතින් උගේ ඇත්තම නම තමයි මේ කථා වලට හොඳටම ගැලපෙන්නේ. ඒත් එහෙම අමුවෙන්ම දෙන එක උගේ සෞඛ්‍යයට වඩා  මගේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්නේ.)

හැඳින්වීම: සිරා කියන්නේ මාරෙට හිත හොඳ අමුතුම එකෙක්. ඌ ඌට හරියන තියරි හදාගෙන ඒ මත ජීවත් වෙන එකෙක්.(කථාවලින් බලත හැකි ) ඕ.එල්. කාලේ ඉඳලාම අලියාගේ පැත්තෙන් දේශපාලන වැඩවලට සහභාගි උන, කැපුවත් කොල එකෙක්. සිරා හිටියේ අපේ ඉස්කෝලේ නෙමෙයි. ඒත් අපි එකට පන්ති ගියා. කොහෙම හරි ඒ.එල්. දෙවෙනි පාරට අපි සෙට් එකක්ම කැම්පස් එකටත් ආවා. කතා ඔක්කොම වගේ ඒ කාලේ ඒවා තමයි.

මේක උනේ අපේ ෆයිනල් එක්සෑම් එක කාලේදී. ඔන්න දැන් ඉතින් කට්ටිය ලවක් දෙවක් නැතුව පාඩම් කරන කාලේ. ඒ වගේම මාරෙට ස්ට්‍රෙස් නේ. ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඉතින් පොඩි ආතල් වැඩක් හැමදාම කරනවා.
 කට්ටිය එක එක තැන්වල පාඩම් කරන්න පුරුදු වෙලා හිටියත් රෑ වෙනකොට හොස්ටල් එකට එනවා. අපේ තිබුනේ කාමරයක් දෙන්නේකුට. ඒ වගේ කාමර 16ක් විතර අපේ බ්ලොක් එකට තිබුනා. අපේ සෙට් එක ඔක්කොම හිටියෙත් මේකේ. මුළු බ්ලොක් එකෙන්ම නැගලාම යන චරිතේ තමයි සිරා.

ඔන්න මමයි රූමයි දැන් පාඩම් කර කර ඉන්නකොට අපේ උන් ටිකක් ආවා වල දාන්න. ඇවිත් එකෙක් මගේ බෝතලෙන් වතුර බිව්වා. (සාමාන්‍යයෙන් පාඩම් කරන කොට අපි වතුර බෝතලේ ලඟ තියන් ඉන්නවනේ.) ටික වෙලාවකින් තව එකෙක්  බිව්වා. දැන් ඔන්න එකා එක බොනවා. මං කේන්තියෙන් වගේ කිව්වා යකෝ ගිහින් තොපේ ඒවගෙන් බීපියකෝ, දැන් මං ආයෙත් මේක පුරවන්න එපෑ කියලා. දැන් කට්ටියට මාර ආතල්.

ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙත් සිරා ආවා. ඇවිත් මගේ වතුර එකෙන් ආයෙත් බිව්වා. දැන් මේ එන්නේ මට මල පන්නවන්න. ටික වෙලාවකින් තව එකෙක් ආවා. ඇවිත් ඌ මට මෙහෙම කියනවා. “මචං අපිත් මාරුවෙන් මාරුවට එනවා. ඇවිත් අපි ගිහින් කියනවා සිරාට අපිනම් අරූගේ බෝතලෙන් වතුර බිව්වා. උඹත් පලයන්”  කියලා.

දැන් වැඩේ වෙන්නේ එහෙමයි. හැමෝම මාරුවෙන් මාරුවට කාමරේට ඇවිත් මගේ වතුර බෝතලෙන් ටිකක් අහකට හලලා යනවා. සිරා විතරක් ඇවිල්ලා බීලා යනවා. බෝතලේ ඉවරවුනහම මම හැමෝටම ඇහෙන්න බොරුවට ඔක්කොටම බැන බැන වතුර එකක් ගේන්න යනවා.

කට්ටිය නිදාගන්නකම් ම මේකත් උනා. පහුවදා උදේම අපේ එකෙක් සිරාගෙන් නිකමට වගේ අහනවලු, “ඊයේ කොහොමද මචං නින්ද ගියාද?” කියලා. මූ ගත් කටටම කියනවලු. “මොන නින්දක් ද බං එලිවෙනකම්ම සැරින් සැරේ හුජ්ජ කරන්න යන්න උනා, ඇයි උඹලට එහෙම නැද්ද? කියලා.

හැබැයි ඉතින් කතාව ඌ දැනගත්තම ඌට වැඩියෙන්ම මල මාත් එක්ක. (සුපුරුදු පරිදි )

මිටි තැනින් බහින වතුර නොහොත් අළුත් කරන විදුලි බිල

ප්‍රතිචාර 3

අද අහන්න හම්බවුන පුවතකට අනුව ඉස්සරහට එනවලු විදුලියත් පෙර ගෙවුම් ක්‍රමයකට අරගන්න. ඒ කියන්නේ ඉස්සරහට වෙන්නේ මෙහෙමයි. අපිට විදුලිය ලැබෙන්නේ අපි කලින් ගෙවලා අරගත්ත යුනිට් ගණනක් විතරයි. හරියට පෙර ගෙවුම් දුරකථන සම්බන්ධතාවයක් ගත්තා වගේ. ඒ ගාණ ඉවරවුනහම ඉබේම විදුලිය විසන්දි වෙනවා.ඊට කලින් අපි දැනගන්න ඕනි ආයෙත් රී-චාර්ජ් කරගන්න. බැලූ බැල්මට ම ඒකත් නරක නෑ වගේ. ඇයි ඉතින් අපිට හම්බ වෙන්නේ දියුණු තාක්ෂණික ක්‍රමයක් නේ.

දැන් ඇයි මෙහෙම ක්‍රමයක් ඕනි වෙන්නේ? මිනිස්සුන්ට විදුලි බිල ඇඟට හොඳට දැනෙනවා. ඉතින් ගෙවන්න අමාරුයි. සමහර වෙලාවට මාස ගණන් පරක්කු වෙනවා. (ඇයි ඉතින් පොල් ගෙඩියකුයි පාන් ගෙඩියකුයි අරන් ඉවර උණහම බිල ගෙවන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑනේ.) මෙහෙම කරහම මණ්ඩලේටත් හරිම ලේසියි.ගෙවපු ගාණ ඉවර උනහම ඉබේම විසන්දි වෙනවා. මණ්ඩලේට කරදරයකුත් නෑ. බැනුම් අහන්න වෙන්නෙත් නෑ.

අපේ විදුලි බිල දරාගන්න තරම් අමාරු තරම් කියලා හැමෝම දන්නවා. අපේ ඒක්කයක නිෂ්පාදන වියදම හුඟක් වැඩියි. ඇයි එහෙම උනේ?

කාලේකට ඉස්සර , 90 ගණන් වල, ලොකු නියගයක් ආවා. නියඟය නිසා ජලයෙන් විදුලිය නිශ්පාදනය කරන එක සීමා කරන්න උනා. එතකොට වෙනත් විකල්ප ගැන බලන්න උනා. පුද්ගලික අංශයෙන් සල්ලි වලට විදුලිය මිළදී ගත්තා. නිකම් නෙමේ සමහර ගිවිසුම් ගැහුවේ 2025 වෙනකම්, ඒකත් ඒකකයකට ගෙවනවා විකුණන මිලට වඩා වැඩියෙන්. ඒ අපිට තියෙන ආදරේට.

ඒත් එක්ක ම වැඩිවෙන ඉල්ලුම ට සරිලන විදියට නිෂ්පාදනය වැඩි කරන්න සැලැස්මක් ඒ කාලේ හැදුවේ නෑ. සමහර වෙලාවට පුද්ගලික අංශයේ විදුලිය ගැනීම සඳහා ජලාශ වල වතුර හේතුවක් නැතුවමමඩ සොරොව්වලින් යවපු කතා ත් අහන්න ලැබුනා.

ඒ වාගේ වැඩ නිසා කාලයක් තිස්සේ පාඩු ලබපු මණ්ඩලේ දැන් ඒ ඔක්කොම පියවාගන්න හදන්නේ අපේ සාක්කුවට විදලා. අපි තමයි පලි.

මුහුනු පොත(FB) ට අපි යට කරන වේලාව…

එක් ප්‍රතිචාරයක්

දුගියාත් ඒ කාලේම මුහුණු පොත ට මුහුණ ඔබා ගත්ත හාදයෙක් තමා. දුගියා වගේම ඔබ සැමත් මෙය පාවිච්චි කරනවාට සැක නැහැ. ඔන්න අපි උදේම පරි(ඝණක )ය දාල නමෝ විත්තියෙන්ම මේකට ගිහින් අද මොනවද මගේ යාලුවෝ දාලා තියෙන්නේ කියලා බලනවා. පස්සේ දවල්ට ආයෙත් බලනවා. (ඒ අතර මැදදිත් බලනවා තමයි ). ආයෙත් ඉතින් ගෙදර ආපු වෙලාවේ ඉඳලා නිදාගන්නකම්ම ත් සැරින් සැරේට යනවා. ඔය අතරේ පොඩි පොඩි සෙල්ලනුත් තියනවානේ. මුහුනු පොතේ හොඳ දේවලුත් තියන බව දුගියා පිලිගන්නවා. උදාහරණයක් විදියට ඉස්කෝලේ ගියාට පස්සේ සමහර යාළුවෝ ආයෙත් හම්බ උනේ මේ නිසා. ඒත් නිකමට ගණන් හදලා බලන්න වටිනවා අපි මේ වෙනුවෙන් මාසයකට වැය කරන කාලය. අපි ඇත්තටම ඒ වෙලාවෙන් කොච්චර පොඩි වෙලාවක් ද වැඩකට ඇති දේකට යොදවන්නේ.

මේ වෙලාවෙන් අපිට මීට වඩා ප්‍රයෝජනවත් වැඩක් කරගන්න පුළුවන් නේද? ඔන්න අද ඉඳන් දුගියා හිතා ගත්තා මුහුණු පොතේ පාවිච්චිය අඩු කරන්න.

දුගියා ගේ සරණේ … IGP මමනේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

රාජය්‍ය සේවය ගැන දුගියා ලියපු කලින් ලිපියේ පොලීසිය ගැනත් විශේෂයෙන්ම සඳහන් කලානේ.  අදනම් කියන්න යන්නේ පොලීසියෙන් අපට වරදක් උනහම, නැත්නම් අපට ඕන දේ කරගන්න බැරි උනහම කරන්න තියෙන දෙයක් ගැන. අත්දුටුවයි. ප්‍රත්ය්‍යක්ෂයි.

දුගියා ගේ මිතුරෙක් දවසක් තමන්ගේ වාහනයෙන් ගමනක් යනකොට වෙන වාහනයක් ඇවිත් ගාවගෙන නවත්වන්නේ නැතුවම ගියා. දැන් ඉතින් යාලුවා ගියා පොලීසියට පැමිණිල්ලක් දාන්න. අර වාහනේ නොම්මරේ විතරක් තියෙනවා. පැමිණිල්ල භාරගන්න ඉන්න කෙනා මෙන්න කියනවා එහෙම පැමිණිල්ලක් භාර ගන්න බැරිලු. “ඔයා බොරු කියනවද කියලා අපි කොහොමද දන්නේ, ඒක නිසා ඒ වාහනේ (කවදහරි ) අල්ලගෙන එනකම් ඔයාගේ වාහනේ මෙහේ තියලා යන්න ” කියපි. මේක හරියන වැඩක් නෙමේ කියලා දැන ගත්ත යාළුවා තමන්ගේ වාහනයත් අරගෙන ආවා. පස්සේ ලිවුවා ඊ-මේල් එකක්. කාටද? කෙලින්ම පොලිස්පතිතුමාට. මුලින්ම රිප්ලයි එකක් ආවා, ඒ ගැන සොයා බලන බවට, ඊට පස්සෙ මෙන්න එනවා පෝලිමේ කෝල් අර පොලීසියෙන්, ඇයි ඔයා මෙහෙම පොලිස්පතිට ලිව්වේ? මේක කතාකරලා කරගන්න තිබුනනේ.. මාර ෆ්‍රෙන්ඩ්ලි ටෝක්ස්.. පස්සේ අහනවා පැමිණිල්ල ලියාගන්න එන්න පුළුවන් කවදටද? කියලා. මෙන්න ඊට පස්සේ උදේ පොලීසියෙන් දෙන්නෙක්ම යාළුවාගේ ඔෆිස් එකට ඇවිත් පැමිණිල්ල ලියා ගන්නවා.  හිතා ගන්න අමාරු උනත් ඇත්ත කථාවක්.. (තාම එච්චරයි.. ඉතුරු ටික යථා කාලයේදි වෙයි )

මේ ක්‍රමය අඳුන්වලා දුන්නේ වත්මන් පොලිස්පති තුමා වන මහින්ද බාලසූරිය මහතා. එයා තමයි 119 එකත් පටන් ගත්තේ, නියෝජ්‍ය්ය පොලිස්පති වෙලා ඉන්න කාලේ.

www.police.lk අඩවිය මගින් හෝ කෙලින්ම http://www.police.lk/index.html මගින් ඔබටත් පුළුවන් ඔබේ දුක් ගැනවිල්ල ගැන ලියන්න.

රජයේ ආයතන කා උදෙසා ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මේ කාරණය නම් දුගියා ගේ හිතේ කාලයක් තිස්සේ හිරකරගෙන හිටපු එකක්. අද තියෙන රජයේ ආයතන වල ප්‍රධානම කාර්ය්‍ය මොකක්ද? දුගියාට නම් තේරෙන විදියට මේවා තියෙන්නේ රස්සා දෙන්න. ඒ අතරේ වෙලාවක් තිබුනොත් විතරක්, කට්ටිය හිටියොත් විතරක්, ඒ ආයතනයේ පාරිභෝගිකයින් ට වැඩක් කරලා දෙනවා. මේ දේ හැමෝම අත් විඳලා ඇති, රජයේ තැනකට ගියහම. පොඩ්ඩක් සිහි කැඳවගෙන බලන්න ඒක එහෙම නෙමෙයිද? කියලා.

වැඩක් කරගන්න ගියහම කළකිරෙන්නේ නැද්ද? ඇයි මේ ම්නිස්සුන්ට තේරුම් ගන්න බැරි තමන්ට රස්සවක් හම්බ වෙලා තියෙන්නේ/ පඩියක් දෙන්නේ තමන් ලඟට එන මිනිස්සුන්ගේ අවශ්ය්‍යතා ඉශ්ඨ කරලා දෙන්න කියලා. කැම්පස් එකේ අධ්ය්‍යන/ අනධ්ය්‍යන කාර්ය්‍ය මණ්ඩල වලින් වැඩක් තියෙනවද ලමයින් නැත්නම්? දොස්තරවරු/ හෙද කාර්ය්‍යමණ්ඩල වලින් වැඩක් තියෙනවද ලෙඩුන් නැත්නම්? හැම තැනම මෙහෙම තමයි.

දවසක් හරි පොලීසියට ගිය මනුස්සයෙකුට ආයෙත් ඒ පැත්ත බලාගෙන බත් කන්නවත් හිතෙන්නේ නැහැනේ. අඩුම තරමේ මිනිස්සුන්ට හොඳින් කතා කරන රාජ්‍ය සේවයක්වත් බිහි කරන්න පුළුවන්නම් අපි කොච්චර වාසනාවන්තද?

ඇන්ටන් ජෝන්ස් ගේ කන්තෝරුව කන්තෝරුව… සින්දුවෙන් හාස්‍යෝත්පාදකව කියන්නේ ඇත්තක් ම තමයි.

සැ.‍යු. තරමක් දුරට හෝ තම පාරිභෝගිකයාට හොඳින්  සලකන රජයේ ආයතන ද ඇති බව කරුණාවෙන් සලකන්න.

ලාබ එලවලු (හඳේ ද?)

ප්‍රතිචාර 6

මේ දවස්වල එලවලු වල ගණන් ඇහුවහම දුගියාගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්… හරියට කුළුගෙඩියකින් ඔළුවට ගැහුවා වගේ. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර ඇවිදින්න පුලුවන්නම් සමහරවිට අතේ සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුලුවන්.
දැන් සුපර් මා(ර්)කට් හැම තැනම තියෙනවානේ. සමහර ඒවාගෙන් දුගියාට හුඟක් ලාබෙට ගන්න පුලුවන් උනා. පොඩ්ඩක් ඉතින් ඇලර්ට් එකේ ඉන්න ඕනි මොකද මේවා දවසින් දවසට වෙනස් වෙනවා. ඔන්න ඉතින් දුගියා කරන්නේ මුලින්ම සුපර් මා(ර්)කට් එකට ගිහින් ගණන් ටික බලල මේමරියට දා ගන්නවා. ගණන් විතරක් බලල මදි. ඔෆර්ස් ගැනත් බලන්න ඕනි.සමහර ඒවට කිලෝ 1 ක් ගත්තම 50% ක ගාණ තමයි ගෙවන්න ඕනි. තව සමහර ණය/හර පත් වලට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. මුලින්ම ගියාට ගන්නේ නෑ.

ඊට පස්සේ යනවා මා(ර්)කට් එකට, එහේ ලාබ දේ විතරක් එහෙන් ගන්නවා. මුදලාලි ගාව ගණන් වැඩි ඒවා ගන්නවද කියලා ඇහුවහම දුගියා නම් කියන්නේ ඒවා ගෙදර තියෙනවා කියලා. මොකද ගෙදර ඇවිත් බලන්නද?

ඊට පස්සේ ඔන්න දුගියා එනවා සුපර් මා(ර්)කට් එකට. දැන් ඉතින් අර ලාබ ටික ගන්නවා. හැබැයි ඉතින් පරිස්සමට. එක වැරදි එකක් ගත්තොත් ලාබේ සුන්.

Older Entries Newer Entries